කර්තෘ: සදහම් ප්‍රදීපය

“මහණෙනි, ආදරයෙන් සේවනය කරණ ලද වඩන ලද බහුල වශයෙන් කරණ ලද යානාවක් මෙන් කරණ ලද වස්තුවක් මෙන් කරණ ලද එළඹ සිටියාවූ (හැම අයුරෙන්ම) පුරුදු කරන ලද මොනවට පටන්ගන්නා ලද මෙත්තා චෙතොවිමුක්තිය (සිතේ මිදීම) පිළිබඳ ආනිශංස එකොළසක් කැමති විය යුත්තාහ. කවර එකොළසක්ද යත් :- සුවසේ නිදයි. සුවසේ පුබුදියි නපුරු සීන නොදකියි. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත් මොහුගේ ශරීරයෙහි ගිනි හෝ විෂ සැත් හෝ නොපිවිසේ. වහා සිත එකඟ වෙයි. මුඛ වර්ණය වෙසෙසින් පැහැපත් වේ. නොමුළාව කළුරිය කෙරෙයි. (මෛත්‍රී සමාපත්තියෙන්) මත්තෙහි රහත් වන්නට නොහැකිවී නම් (මරණින් මතු) බඹලොව උපදින්නේ වේ.

“(ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. (ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත.

“සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද, දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද?

“සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය පස් අයුරකින් වේ. සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය අට අයුරකින් වේ. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය දශ අයුරකින් වේ. (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර පස් අයුරකින් වේද, යත්:- සියලු සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු ප්‍රාණීහු (මෙහි (ii) යොදන්න) සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවයට ඇතුළත්වූවෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වායි ප්‍රදෙශ සීමා රහිතව පතුරුවන මෛත්‍රි චිත්ත විමුක්තිය මේ පස් අයුරෙන් වේ.

(ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර අට අයුරකින් වේදයත් :- සියලු ස්ත්‍රීහු (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාවය පරිහරණය කෙරෙත්වා (iii) සියලු පුරුෂයෝ (මෙහි (ii) යොදන්න) සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ (අපායගතවූවෝ) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ, දුක් රහිත වූවෝ සුවපත්ව ආත්ම පරිහරණය කෙරෙත්වායි (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රීචිත්ත විමුක්තිය මේ අට අයුරින් වේ.

“දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර දශ අයුරකින් වේද? සියලු පූර්ව දිශාවෙහි සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිතවූවෝ, දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු පශ්චිම දිශාවෙහි සත්වයෝ (මෙහි (ii) යොදන්න) සියලු උත්තර දිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ දිශාවෙහි සත්වයෝ සියලු පූර්ව අනුදිශාවෙහි සත්වයෝ සියලු පශ්චිම අනුදිශාවෙහි සත්වයෝ සියලු උත්තර අනුදිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි සත්වයෝ සියලු අට දිශාවෙහි සත්වයෝ සියලු මතු දිශාවෙහි සත්වයෝ (iv) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා.

“සියලු පූර්ව දිශාවෙහි ප්‍රාණීහු (මෙහි 4 ඡේදයේ (iv) යොදන්න) භූතයෝ පුද්ගලයෝ ආත්මභාව පර්යාපන්නයෝ (ශරීර ඇත්තෝ) සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. සියලු පශ්චිම දිශාවෙහි විනිපාතිකයෝ (අපායගතවූවෝ) සියලු උත්තර දිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ දිශාවෙහි විනිපාතිකයෝ සියලු පූර්ව අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු පශ්චිම අනු දිශාවෙහි විනිපාතිකයෝ සියලු උත්තර අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු හෙට්ඨිම අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු උපරිම අනුදිශාවෙහි විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය මේ දස අයුරෙන් වේ.


ත්‍රිපිටකය » ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » යුගනද්ධවග්ගො » මෛත්‍රී කථා

ඉසිදාසී ථෙරී ගාථා

“පොළවට ආභරණයක් වූ කුසුම නම් වූ පැළලුප් නුවර ශාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් කුලවත්වූ, ගුණවත්වූ භික්ෂුණීහු දෙදෙනෙක් වෙසෙති.

“ඉන් එක් නමක් ඉසිදාසී නමි. දෙවැන්නි සිල්වත් බෝධිථෙරී නම් ධ්‍යාන කිරීමෙහි ඇලුණාහු බොහෝ දැන උගත්තාහු පහකළ කෙළෙස් ඇත්තාහු වූ.

“ඔහු පිණ්ඩපාතයෙහි හැසිර බත් කිස ගනීවා, පාත්‍රා සෝධා තබා ජනයාගෙන් තොරව සැපසේ හිඳ මේ ගාථාවෙන් කීහු.

“ආර්යා ඉසිදාසිය, පැහැ විහිදෙන රූ ඇත්තෙහිය. නුඹේ වයසද නො පිරිහුණේය. ගිහිගෙයි කවර දෝෂයක් දැක පැවිද්දට නික්මුණෙහිද?

“මෙසේ ශුන්‍ය ස්ථානයෙහිදී යෙදුනු ධර්ම දේශනාවෙහි දක්ෂවූ ඒ ඉසිදාසී භික්ෂුණීතොම “බෝධිය මා පැවිදි වූයේ කෙසේදැයි අසවයි මේ වචන කීය.

“උදේනි නුවර සිල්වත් සිටුතෙම මගේ පියාය. ඔහුට මම ප්‍රියවූ, මන වඩන, දයාවත් එකම දුවණිය වූවාය.

“ඉක්බිති සාකේත නුවරින් උතුම් කුලවත් මා ඉල්ලන්නෝ ආවාහුය. මහත් ධන ඇති සිටුකෙනෙක් වෙයි. ඔහුට ලේලියකොට මා පාවාදිනි.

“උදේ සවස නැදිමයිලන් වෙත වැඳීමට ගොස් දෙපය හිස තබමි. වඳිමි. අවවාදය එසේ පිළිපදින්නක් වෙමි.

“මගේ හිමියාගේ යම් සහෝදරියෝ වෙත්ද, සොහොයුරෝ වෙත්ද, පිරිවරවේද, මුන් අතුරෙන් එකම වල්ලභයකු දැක තැතිගත්තාව අසුන් දෙමි.

“එහි සැදූ ආහාර පාන වලින් යමකුට සුදුසු යමක් ඇද්ද එයින් පවරමි. එළවමි. දෙමි.

“සුදුසු කාලයෙහි උපස්ථාන කොට, එලිපත සමීපයේදී පිළිගනිමි. අත් පා සෝදවා ඇඳිලි බැඳගෙන ස්වාමියා වෙතට පැමිණියෙමි.

“හිස පීරණ කොස්සද, විලවුන්ද, කැඩපතද ගෙණ වැඩකාරියක මෙන් තොමෝම සිය හිමියා සරසමි.

“තොමෝම බත් පිසයි. තොමෝම බඳුන් සෝදයි. එක් පුතකු ඇති මවක මෙන් එවිට හිමියාට උපස්ථාන කරමි.

“මෙසේ බැල මෙහෙ ඇති ඇලුණු, කටයුතු කරණ, උඩඟු නොවූ, අලස නොවූ, සිල්වත් උපස්ථායිකාවූ මට හිමියා කෝප කරයි.

“ඉසිදාසිය හා එක ගෙයි එක්ව නොවසන්නෙමි. මම විචාරා යන්නෙමියි’ හෙතෙම මවුපියන්ට කියයි.

“පුත්‍රය, එසේ නොකියව, ඉසිදාසිය නුවණැති දක්ෂ අලස නැති උපස්ථායිකාවකි. කුමක් හෙයින් නුඹට රුචි නොවේද?”

“මට කිසි හිංසාවක්ද නොකෙරෙයි. මම ඈ හා නොවසන්නෙමි. මට කෝප උපදවයි. මට ප්‍රයෝජනයක් නැත. නොවිචාරාම යම් තැනක යන්නෙමි.”

“ඔහුගේ වචනය අසා නැදිමයිල්හු ‘තෝ කවර වරදක් කෙළෙහිද? නිසැකව කියව’යි මා විචාළෝය.

“ආර්යාවෙනි. මම කිසි වරදක් නොකෙළෙමි. හිංසාවක් නොකෙළෙමි. නොබිණිමි. මා හිමියා කෝප වන කවර බැණීමක් කරන්නට හැකිවේද?

“ඔහු පුතු රකින්නාහු රූපවත් ශ්‍රී දේවියගෙන් පිරිහුනෙමුයි නොසතුටුව මා පිය කුලයට ආපසු පැමිණවූහ.

“අනතුරුව පියතෙම එයින් අර්ධයක් දායාද සමග දෙවන ධනවත් කුලවතකුට මා පාවා දිනි. සිටුතෙම එපරිද්දෙන් මා විඳියි.

“ඔහුගේ ගෙයිද මාසයක් විසීමි. දාසියක් මෙන් සලකන ද්‍රොහි නොවන සිල්වත් මා හෙතෙමේද ප්‍රතික්ෂේප කෙළේය.

“හික්මුණ, දැමුණු ආහාර සොයා බුදින සිඟන්නකු දැක මපියතෙම නුඹ මා බෑණා වන්නෙහිය. වස්ත්‍ර කැබෙල්ලත් පාත්‍රයත් දමවයි කීය.

“ඔහුද මා හා අඩමසක් වැස යන්නේ “නැවතත් සිඟා යන්නෙමි. රෙදි කඩත් පාත්‍රයත් මාලාවත් දෙවයි” මපියහට කියයි.

“අනතුරුව පියාද මවුද මගේ අන්‍ය සියළු නෑ සමූහයාද නුඹට මෙහි කුමක් නොකෙරේද? එසියල්ල කරවන්නෙමු. වහාම කියවයි කියයි.

“මෙසේ කියන ලද ඔහු මට නිදහස්ව විසිය හැකිය. ඉසිදාසියගෙන් කම් නැත. එක ගෙයි එක්ව නොවසන්නෙමියි කියයි.”

“හරණ ලද ඔහු ගියේය. මමද හුදකලාව සිතීමි. නොවිචාරා මැරෙන්නට හෝ යමි. පැවිදි හෝ වන්නෙමි.

“මෙසේ බොහෝ දත් විනයධර සිල්වත් ජිනදත්තා ආර්යා තෙමේ පියාගේ ගෙදරට පිඬු පිණිස වැඩියාය.

“අප ගෙදරට ආ මෙහෙණිය දැක වහා නැගිට අස්නක් පැනවීමි. හුන්නියගේ පා වැඳ අහරද පිළිගැන්වීමි.

“එහි තැබූ ආහාර පාන කැවිල්ලෙන් සතපා ආර්යාවෙනි, පැවිදිවනු කැමැත්තෙමියි’ කීමි.

“ඉක්බිති පියතෙම මට මෙසේ කීය. ‘දුව මෙහිම ඒ ධර්මය පුරව. ආහාර පානයෙන් මහණ බමුණන් සතපව’

“අනතුරුව මම ඇඳිලි බැඳ වැඳ අඬමින් පියාට කියමි. ‘පෙර මා කළ ඒ පාපය දිරවන්නෙමි.’

“යලිත් පියතෙම ‘දෙපා ඇත්තවුන්ට අග්‍රවූ සර්වඥයන් වහන්සේ යමක් ප්‍රත්‍යක්ෂ කළසේක්ද, ඒ බෝධියටද අග්‍ර ධර්මයටද පැමිණෙව, නිර්වාණයද ලබවයි’ කියායි.

“මවු පියන්ද, සියළු නෑයන්ද වැඳ පැවිදිව සත් දවස තුළ තුන් නුවණ ලැබීමි.

“යමෙක මේ විපාකයෙක් වීද ඒ මගේ ජාති සතක් දනිමි. එය නුඹට කියන්නෙමි. ඒ එක සිතින් අසව.

“ඒ මම එරකච්ඡ නුවර මහත් ධන ඇති රන්කරුවෙක් වීමි. තරුණ මදයෙන් මත්ව පරදාර සේවනය කෙළෙමි.

“ඒ මම ඉන් චුතව බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි. එසේ පැසී ඉන් නැඟී වැඳිරියක කුස උපන්නෙමි.

“රැළට නායක මහ වඳුරුතෙම උපන් සත් දවසක්වූ මාගේ බිජුවට නැසීය. පරදාර ගිය මේ එහි කර්ම විපාකයයි.

“ඒ මම ඉන් චුතව සින්ධවාරණ්‍යයෙහි කණවූ කුදුවූ එළු දෙනක කුස උපන්නෙමි.

“එහිදී බීජොත්පාටනය කළ මම දොළොස් වසක් මුළුල්ලෙහි දරුවන් උසුලමින්, පරදාරයෙහි ගිය පවින් පණුවන් ගෙන් ආකූලව ගිලන් වූයේ වෙමි.

“ඒ මම ඉන් චුතව ගෙරි වෙළෙඳකුගේ දෙනකගෙන් ලාකඩසේ රතු වස්සෙක්ව දොළොස්වැනි මස බීජොද්ධරණය කරන ලද්දෙමි.

“මම නඟුලද උසුළා ගැලද දරමි. පසුව පරදාරයට ගිය පවින් අන්ධව ගිලන්වීමි.

“ඒ මම ඉන් චුතව නුවර වීථියෙක දාසියක ගෙයි, පරදාරයට ගිය පවින් ස්ත්‍රී නොවූ පුරුෂ නොවූ නපුංසකවීමි.

“තිස්වෙනි වසෙහි මළේ, දුප්පත්, දිළිඳු බොහෝ ණය හිමියන් විසින් මඩනා ලද, ගැල්කරු කුලයෙක දැරියක්ව උපන්නෙමි.

“ඉක්බිති ගැල්කරුතෙම ණය පොළිය උස්ව වැඩුණු කල්හි ඒ මා හඬද්දී කුල ගෙයින් ඇද පෙළයි.

“ඉක්බිතිව සොළොස්වැනි වස යොවුන් බවට පැමිණි මා දැක ගිරිදාස නම් රියැදුරකුගේ පුත්‍රයෙක් මා භාර්යා කෙළේය.

“ඔහුට සිල්වත්, ගුණවත්, ප්‍රසිද්ධ, හිමියාට ඇළුණු අනෙක් භාර්යාවක් ඇත. මම ඇයට හිමියා සමග විරුද්ධවන මන්ත්‍ර ගුරුකමක් කෙළෙමි.

“දාසියක් මෙන් උවටැන් කරණ මා හැර දමා යෙත්ද මෙය එහි විපාකයයි. ඒ කර්මයද මා විසින් කෙළවර කරණලදී.”


ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරීගාථා පාළි » චත්තාලීසති නිපාතය » ඉසිදාසී ථෙරීගාථා

අත්‍ථකරණ සූත්‍රය 

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, විනිශ්චය ශාලාවෙහි නඩු විසඳීමෙහි යෙදී හුන් මම ධනයෙන් ආඪ්‍යවූද, බොහෝ සම්පත් ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන පිනවන බොහෝ දේ ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් ක්‍ෂත්‍රියයන්ද, මහාසාර කුලවල උපන් බමුණන්ද, මහාසාර කුලවල උපන් ගෘහපතීන්ද, කාම වස්තූන් නිසාම, කාම වස්තූන් මූලකාරන කොටම, කාම වස්තූන් කරණ කොටගෙනම, දැන දැන බොරු කියන්නවුන් දිටිමි. ස්වාමීනි, ඒ මට දැන් මේ සිත විය. එනම්:- මට දැන් මේ නඩු හලෙන් කම් නැත. මින් මතු භද්‍ර මුඛ නම් තැනැත්තේ නඩුහලෙහි පෙනී සිටීය’’ යනුයි.

’’ මහරජ, ධනයෙන් ආඪ්‍යවූද, මහත් ධන ඇත්තාවූද, මහත් වස්තු ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන වඩන බොහෝ වස්තු ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, කාම වස්තූ නිසාම, කාම වස්තූ මුල්කොටගෙනම, කාම වස්තූ කරණ කොටගෙනම, දැන දැන බොරු කියත්ද, ඒ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.’’

කාම වස්තූන්හි ඇලුනාවූ, එහිම ගිජුවූ, කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ කුසල් ඉම පැනයාම නොදකිත්. මත්ස්‍යයෝ තමන් ඇල්ලීමට බහා තිබෙන කෙමන යම්සේ නොදකිත්ද, එමෙනි. පසුව ඔවුන්ට කටුක දුක වෙයි. එහි විපාකයද ඉතා දරුණුය.


ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » කොසල සංයුත්‌තය » බන්ධන වර්ගය » අත්‍ථකරණ සූත්‍රය 

යොගාවචරතෙම පාදාන්තයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේද යත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස් පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, අක්මාවය, හෘදයමාංසය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය නොදිරූ අහාරය, මලය, හිස් මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලුය, මුත්‍රය, (යනමේ කුණපයෝ) ඇත්තාහ.
මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්දයත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යනමේ ධාන්‍යවලිනි) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල (මුදා) ලිහා මේ හැල්ය, මේ මහවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, යොගාවචර තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචි වලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්. නියපොතුය, දත්ය, සමය මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුළුය, වකුගඩුය, හෘදය. මාංසය, අක්මාව, සැරවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය, අතුණු බහණය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොළය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි.
මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය, කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල වශයෙන් නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය, මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදි වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.


සුත්තපිටක » දීඝනිකාය » මහාවග්ගපාළි » මහා සතිපට්ඨාන සූත්‍රය » කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බය